පිරිස් වෙද මහත්මයා නමින් ප්‍රකටව සිටි උඩුගම්පල අප ගමේ කීර්තිධරයෙක් ශෘංගාරාත්මක කාව්‍ය ප්‍රබන්ධයෙහි දක්ෂයෙක්ව සිටියේය. අප ගමේ සිටි රූපත් නෝනා කෙනෙකු පිළිබඳව ඔහු ලියූ ඇතැම් කවි ඉතා රසවත් ඒවා විය. ඒ කවි ඇසීමට මගේ පියා ද මහත් රුචියක් දැක්වීය. නමුත් කුඩා අප ඒවා අසා ගත්තේ වැඩිමහල්ලන් ඒ ගැන කතා කරන විට අසල සැඟවී සිටය. ගැමි කවියෙහි එන ශෘංගාරය ජීවිතයට සමීප බැවින් තියුණු රසයක් උපදවයි. පොදු ජනතාව අතර ගජමන් නෝනාගේ ජනප්‍රිය භාවයට ප්‍රධානම හේතුව වී ඇත්තේ එබඳු ශෘංගාරාත්මක කවි බොහෝ ප්‍රබන්ධ කොට තිබීමය. හැම ජන කවි සංග්‍රහයකම ගජමන් නෝනාගේ ශෘංගාරාත්මක ප්‍රබන්ධ මුලින්ම යොදා තිබීම ප්‍රකට ලක්ෂණයකි. එපමණක් නොව, කතෘ අවිනිශ්චිත රසවත් ශෘංගාරාත්මක ප්‍රබන්ධ පවා ගජමන් නෝනාගේ කවි ලෙස දැක්වීමට පුරුදුව සිටින බැවින් දැන් ඇගේ නියම ප්‍රබන්ධ මොනවාදැයි තෝරා බේරා ගැනීම දුෂ්කර කරුණක් වී තිබේ.
ගජමන් නෝනා විසූයේ ද රති සාහිත්‍යය රජ කළ මාතර අවදියේ ය. වර්තමාන කාව්‍යය සම්ප්‍රදායේ මුල මාතර යුගය බවත් ගජමන් නෝනා ඊට ප්‍රධාන වන බවත් මහගම සේකර දැරූ මතයකි. සිංහල කාව්‍ය ඉතිහාසයෙහි පෞද්ගලික අත් දැකීම් කාව්‍යයට නැඟූ මුල් ම ප්‍රසිද්ධ කිවිඳිය ගජමන් නෝනා බව ඔහු විශ්වාස කෙළේ ය. ජෝන් ඩොයිලිට සිය දුක කියා පද්‍ය පන්තියක් ලියුවත් ඇගේ යටි සිතේ පැවතුණේ සිය පියාගේ මරණයට වන්දියක් ඉල්ලීම බව මුහන්දිරම් කේ. එච්. ද සිල්වාගේ අදහස විය. ගජමන් නෝනා දිර්ඝ කාව්‍යයක් ප්‍රබන්ධ නො කළ බවට පළ වී ඇතත් ඇය විසින් කවි 213 කින් ප්‍රබන්ධ කළ කාව්‍යයක පුස්කොළ පිටපතක් දැන් සොයා ගෙන ඇත. ”ගජමන් පුවත” නිෂ්පාදනය කිරීමෙන් පසු ගුණසේන ගලප්පත්ති මහතා නැඟූ විවේචනය හේතුවෙන් ගජමන් නෝනා පිළිබඳ ව බොහෝ කරුණු ප්‍රසිද්ධ පුවත් පත් මාර්ගයෙන් හෙළි විය.
1966 වර්ෂයේ එංගලන්තයේ ස්ටෝක් ඔන් ට්‍රෙන්ට් නගරයේ වික්ටෝරියා නාට්‍යාගාරයේ අධ්‍යක්ෂ පීටර් චීස්මන් මහතාගේ වාර්තා නාට්‍ය නිෂ්පාදන නැරඹීමෙන් පසු එබන්දක් නිෂ්පාදනය කිරීමේ ආශාවක් මට උපන. ඔක්ස්ෆර්ඩ් නගරයේ දී දුටු බර්නාඩ් ෂෝ සහ කැම්බල් ආර්යාව අතර හුවමාරු වූ ලිපි ඇසුරින් නිෂ්පාදනය කරන ලද 'ඩියර් ලයර්' නම් නාට්‍යය ද මට බලපෑ කෘතියකි. 'සිංහල නාට්‍ය කලාවේ වර්ධනය' පිළිබඳ ව වාර්තා රංගයක් නිපදවීමට මා මුලින් ම කටයුතු කළ ද එය බොහෝ කල් ගත වන්නක් හා වියදම් අධික නිෂ්පාදනයක් බැවින් 1971 දී පමණ "ගජමන් පුවත" සඳහා ලැහැස්ති වුණෙමි. මේ වන විට මා අප්‍රියෙල් සිද්ධීන් සම්බන්ධ කොටගෙන රැකියාවෙන් ඉවත් කොට තිබුණි. එනමුදු සිංහල සංස්කෘති ආයතනයේ ගරු ලේකම් පදවිය ඒ සමග ම මාවෙත පැවරුණෙන් එම කටයුතු සමග නාට්‍යය ද කළ හෙයින් "ගජමන් පුවත" 'සුදර්ශී' ශාලාව හා සම්බන්ධ වූවක් ලෙස සලකමි. "ගජමන් පුවත" පිළියෙල කිරීමේ දී බොහෝ දෙනාගෙන් සහාය ලැබිණි. ලක්ෂ්මන් ජයකොඩි නියෝජ්‍ය ඇමති තුමා, නිහාල් රත්නායක, බන්දුල ජයවර්ධන, ගුණපාල ආදිමලී, මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා, ජස්ටින් විජයවර්ධන, මහගම සේකර, සිරිපාල තිලකසේන, කේ. බී. පරණවිතාන, වෙ. වී. අභයගුණවර්ධන, ජේ. ඒ. ඇම්. ද සිල්වා යන මහතුන් ගැන විශේෂයෙන් සඳහන් කරමි. පිටපත් කිරීමෙන් උදව් කළ පරාක්‍රම ඥානසේකර, වී. රණතුංග ආරච්චි යන මහතුන් හා රත්න සුමනපාල මහත්මිය ද අගය කොට සලකමි.
පැරණි තොරතුරක් හෝ සිදුවුනු දෙයක් කලාකරුවෙකු ගෙනහැර පාන්නේ එහි ඇති සමකාලීන වැදගත්කමක් දකිමිනි. ඒ අනුව “ගජමන් පුවතේ” ඇති වැදගත් කම කුමක්ද?
“ගජමන් පුවතේ” එන චරිත හා සිද්ධීන් දෙස මා බැලුවේ අද අපේ සමාජයේ ප්‍රශ්න තුළිනි. කලාකරුවන් දෙස සමාජය හෙළන වැරදි සහගත බැල්ම ගැන වරක් එක් සිනමා නිළියක සමඟ මා කළ සාකඡ්චාවෙන් ඈ ලද සහනය මගේ සිතට තදින් කා වැදුණි. කලාකරුවන් අසම්මත පිරිසක් බවට සෙසු සමාජය දරන ආකල්පය මේ රටට පමණක් සීමා නොවේ. එය මෙකලට ද සීමා නොවෙයි. මේ කරැණ සාකඡ්චා කිරීමට “ගජමන් නෝනා” හොඳ සංකේතයක් බව සිතුවෙමි. තවද කලාකරුවා තුළ ද පවතින නොයෙකුත් ආවේගයන් විදහා දැක්වීමට ගජමන් නෝනාගේ ජීවිතයෙන් ලබාගත් හැකි තොරතුරු එමට විය.
1975 වර්ෂයේ "ගජමන් පුවත" නිෂ්පාදනය කළ වකවානුව ගැන විශේෂයෙන් සදහන් කල යුතුය. නිෂ්පාදනය භාරගත් මා සම්බන්ධ නාට්‍ය සංගමය වන නළු කීර්ති සභාවඅරමුදල් අතින් ඉතා අයහපත් තත්ත්වයක පැවතුණු අතර සභාව එයින් ගොඩ ගැනීමේ කටයුත්ත ද මා සතු ව තිබුණි. මා "පැරණි නාට්‍ය පුනරුත්ථාපනය" කිරීමේ කටයුතුවල යෙදෙන්නෙකු ලෙස ද බොහෝ දෙනා මේ කල කියමින් සිටියහ. මේ සියල්ලට ම පිළිතුරු "ගජමන් පුවත" විය හැකිදැයි මට ම ප්‍රශ්නයක් විය. "ගජමන් පුවත" එම අභියෝගය බව මට දැන් පැහැදිලි වෙයි.
වේදිකා ගත කරන අවසාන මොහොත දක්වා "ගජමන් පුවත" මම වෙනස් කිරීම් හා සකස් කිරීම්වලට භාජනය කෙළෙමි.
1975 ඔක්තෝබර් 14 වැනි දා රාත්‍රී ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ ප්‍රථම දර්ශනයෙන් පසු ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු අනුග්‍රහය මට ම අදහා ගත නො හැකි විය. "ගජමන් පුවත" ගැන විවිධ අදහස් පළ වූ අතර මම ඒවා ගැන ද සලකා තව දුරටත් නාට්‍යය සකස් කෙළෙමි.
දිරිද්‍රතාව නිසා ගිය මග වෙනස් කිරීමට සිදු වීමෙන් මුහුණ පාන ඛේදවාචකයකට ගොදුරු වන්නේ කලා කරුවෝ පමණක් නො වෙති. දේශපාලන බිමේ ද එබඳු අය එමට සිටිති. ගජමන් නෝනාගේ ජීවිතය ඛේදවාචකයක් ලෙස සලකා මේ නාට්‍යය රචනා කෙළේ එය ද විදහා දැක්වීමට ය.
“ගජමන් පුවතේ” එන හැම සිද්ධියක් ම සත්‍ය තොරතුරු ඇසුරෙන් පිළියෙල කිරීමට හැම උත්සාහයක් ම දරා ඇත. එබැවින් ලැබෙන අලුත් ම තොරතුරු අනුව මේ රචනය ඉදිරියේ දී තවත් සංස්කරණය වන්නට ද බැරි නැත.
ප්‍රථම දර්ශනය ඉදිරිපත් කළ අවස්ථාවේ දී රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ, නාට්‍යයට පාත්‍ර පුද්ගලයින්ගේ පැරණි ලේඛන ප්‍රදර්ශනය සම්බන්ධයෙන් රාජ්‍ය ලේඛනාගාර අධ්‍යක්ෂ අමරවංශ දේවරාජ මහතාටත් නියෝජ්‍ය අධ්‍යක්ෂ හරිශ්චන්ද්‍ර සිල්වා මහතාටත් උප-අධ්‍යක්ෂ කේ. ඩී. පරණවිතාන මහතාටත් ස්තුතිවන්ත වෙමි. නාට්‍යය සංවිධාන කටයුතුවලට දිරි දුන් ජී. ජී. එල්. අමරසිංහ මහතාටත්, මෙම පොත ප්‍රකාශනය කිරීම සම්බන්ධයෙන් ඉමහත් උද්යෝගයෙන් කටයුතු කළ එච්. අමරසිංහ මහතාට හා ඔහුට සහාය වූ හෙන්රි සමරනායක මහතාටත් චිත්‍රශිල්පි සෝමසිරි හේරත් මහතාටත් මගේ ගෞරවය හිමි වේ.
දයානන්ද ගුණවර්ධන
“ගජමන් පුවත” - පෙරවදන
1976 මාර්තු 15 දින ගම්පහදී