නිෂ්පාදක සටහන

ගජමන් නෝනාගේ ප්‍රබන්ධ ප්‍රධාන වශයෙන් සලකනු ලබන්නේ ජනශෘතියේ අංගයක් ලෙසටය. ඊට හේතුව වන්නේ ඇගේ බොහෝ ප්‍රබන්ධ කවි මඩු වැනි ස්ථානවලදී කියු හිටවන ඒවා නිසා වියහැක. ඒවා කෙතරම් රසවත් වීදයත් එම කවි ගොතා ඒවා ගජමන් නෝනා කියු ඒවා යැයි ප්‍රචලිත කිරීම සිරිතක් වී ඇත. මේ හේතුවෙන් ගජමන්නෝනාගේ නියම ප්‍රබන්ධ මොනවාදැයි නිශ්චය කිරීමද දුෂ්කර කාර්යයකි. තවද ගජමන්නෝනා විසින් ප්‍රබන්ද කර ඇති ශාස්ත්‍රීය ගනයේ ලා සැලකෙන කවි පවා ජනශෘතියට එක් වී ඇත.

ජනශෘථීයට එක්වීම යනු සැබෑ ලෙස ජනප්‍රිය වීම යනුවෙන් ප්‍රකාශ කිරීම යුක්ති සහගත යැයි සිතමි. ගජමන් නෝනාගේ කවියෙන් ඇසු ප්‍රශ්න හා ඒවාට දැන් කවි පිළිතුරු වඩාත් ප්‍රචලිතව ඇත්තේ එවැනි ශෛලියක ඇති නාට්‍යෝචිත භාවයද නිසාය. ඇසු ප්‍රශ්නයට දෙන පිළිතුර ගැන කුතුහලයක් ඇති කරවයි. 

ගජමන් නෝනා සම්බන්ධ කොට ගෙන නාට්‍යයක් ලිවීමට ආධාර වු ප්‍රධාන කරුණක් වශයෙන් මෙය හැඳින්විය හැක.

ගජමන් නෝනා ලියු හෝ ලියුවා යැයි කියන කවි ඇසුරෙන් ඇගේ චරිතය පිළිබඳ වැරදි නිගමනයක් ඇති කර ගැනීමට යමෙකුට පුළුවන. ඉතා රූමත් එමෙන්ම ජනප්‍රිය කෙනෙකු වූ ගජමන් නෝනා ගැන එදත් අදත් කවුරුත් කථා කිරීමට ප්‍රිය කරති. නමුත් සහෘදයා ජනනය කර ගන්නා මිනුම් දන්ඩ අද ජීවත් වෙන කලා කරුවෙක් ගැන කථා කිරීමට ද යමෙකු උපයෝගී කර ගත හැක. කලා කරුවා පිළිබඳ මේ ප්‍රශ්නය පිළිබඳ සකාච්ඡා කිරීම ගජමන් පුවතේ එක් අරමුණක් වේ.

ගජමන් පුවත වාර්තා රංඟනයක් හැටියට හඳුන්වමි. වාර්තා රංඟ නිෂ්පාදනය කරන එංගලන්තයේ ස්ටොක්ඩන් ටේ‍රන්ට් නගරයේ වික්ටෝරියා නෘත්‍යාගාරයේ මා ගත කළ කාලය මම මෙහිදී සඳහන් කළ යුතුය.  වාර්තා නාට්‍ය රචනය, නිෂ්පාදනයක් සමඟම සිදුවන ආකාරයක් ගනී. මුලික රචනයක් කොට එය නිෂ්පාදනය කරනවාට වඩා තිඛෙන කරුණු වේදිකාව මත සකස් කර ගන්නා ආකාරයක් මෙවැනි කටයුත්කදී වේ. ගජමන් පුවත රචනය එය රංග ගත කිරීමට ආසන්න වනතෙක්ම සිදුවුනි. ගජමන් පුවතේ එන කවි සියල්ලක්ම ඉතා ප්‍රවේසමෙන් තෝරා සකස් කර ගත් මූලික ප්‍රබන්ධයන් වේ. මේවා සොයා ගැනිමේදී මට උපකාරි කළ සියළු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය හිමිවේ. වාර්තා රංඟයක් යනු පුවතක් එය සිදු වූ අයුරින්ම කිමක් ද නොවේ. එම පුවතේ තොරතුරු අදට වැදගත් වන ඒවා විය යුතුය. ගජමන් පුවත සමහර විට සම්පූර්ණ කරන ලද කෘතියක්ද විය නොහැක. එහි වැදගත් යමක් ඇතොත් රසිකයින්ගේ සහාය ඇතිව සම්පූර්ණ කරගත හැක.

දයානන්ද ගුණවර්ධන

1976-03-15