ගජමන් නෝනා පිළිබඳ ගවේශනාත්මක ලිපි
ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ඉල්ලීමක් පරිදි මාතර, ඩී ජස්ටින් විජයවර්ධන මහතා විසින් සපයන ලද විස්තරයක් පහත දැක්වේ.
සම්පූර්ණ නම : දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා
උපත : කොල්ලූපිටියේදී
දිනය : 1746
පියා : බෙලිඅත්ත ආසන්නයේ කහවත්ත ගමේ, වරකාමුල්ලේ ගමගේ දොන් ප්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල්. මාතර රණවක තෙන්නකෝන් මුදලිඳුගේ ලියනඅප්පු - එම මුදලිඳුගේ උපකාරයෙන් ගජමන් ආරච්චි වසමත්, කහවත්තේ විදාන ආරච්චි වසමත් ලැබ කොල්ලූපිටියේ සිට කහවත්තට පැමිණ, පසුව මාතර වෙහෙරගම්පිට පදිංචියට පැමිණ ඇත.
මාතර වාසය : වෙහෙරගම්පිට තුප්පහිගේ වත්ත
මව : කොල්ලූපිටියේ පදිංචිව සිටි දෝන කොර්නේලියා නෝනබබා පෙරෙයිරා
මවගේ පියා : කොල්ලූපිටියේ මිලාගිරි පල්ලියේ තෝම්බුව භාර මුලාදෑනිකම ඉසුලූ ජසෙන්තු ග්‍රේරෝ
පවුලේ ගණන : දරුවෝ තිදෙනෙකි. වැඩිමලා ගජමන් නෝනාය. මේ දරුවන් ලැබෙන තුරු ඔවුන් සිටියේ කොල්ලූපිටියේය. මාතරට එනවිට ගජමන්නෝනාගේ වයස අවුරුදු 14 කි.
ගුරුවරු : කරතොට ධර්මාරාම නායක හිමියන් ප්‍රධානව - සමරජීව පත්තායමේ ලේකම් හා හිටිනාමලූවේ හිමි. මින් පත්තායමේ ලේකම් ඇයගේ මාමා කෙනෙකි.
කිවිවරිය : විසි වයස් වන විට කිවි වරියක වශයෙන් ඇයගේ ප්‍රසිද්ධිය රටපුරා පතල වී තිබිණ.
ඇයගේ විවාහය :
වයස 22 දී ගාල්ලේ ආරච්චි කෙනකු සමඟ විවාහ වූවාය. දෙවසකින් පසු සැමියා මළේය. ඔවුන්ට ලැබුණේ එක් දරුවෙකි. ඔහුගේ නම ජුවානිස් අල්විස්ය.
දෙවැනිවරට විවාහ වූයේ මාතර උයන්වන්නේ ගේබ්‍රියෙල් හෙන්වුක් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමඟය. 8 වසක් ඒ විවාහය පැවතියේය. දරුවෝ තිදෙනෙකි. ගිරිගෝරිස්, දාවිත් හා දොන් දියෙස් (බබා ගුරුන්නාසේ).
ඇයගේ ඇඳුම : සාය හැට්ට බොස්තරැක්ක සිහින් ඉඟ, තූප්ප කොණ්ඩය
ගජමන් නම : ගජමන් ආරච්චි යනු ඇතුන් බඳින රාජකාරියක් විය හැකියි. ඒ ගැන මතභේද ඇත. නැතහොත් ගජමන් හෝ ගැජමාන් යන ඕලන්ද වදනකින් භින්න වූවක් විය හැකියි.
පවුල් පසුබිම : කවි පවුලකි. ඇයගේ මුත්තා ග්‍රේරෝ මහතා කවි ලිවීමේ සමතෙකි. ඇයගේ මව හොඳ ගුරුවරියකි. ඇයගේ පියා ද කවි ලිව් මේ සමතෙකි. යාලේ රැකියාවක් කරමින් සිටිද්දී එවන ලද කවියකි මේ.
බැන්ද කල අඩිය යට ඉඳ හැම වෙලේ
නින්ද තැන සුළඟ වදිමින් එම කාලේ
ඇන්ද වත බරය ඉලිකුනු ගත බලේ
වින්ද දුක මදි ද අප ඉඳගෙන යාලේ
ඇයගේ සහෝදරයා දොන් ලූවිස් සේනාරත්න පෙරුමාල් විජයරාම කුමාරසිංහ ගජමන් මුහන්දිරම් ද කවි කාරයෙකි. “විරහ සෝක මාලය” ඔහුගේ කෘතියෙකියි කියනු ලැබේ. ඉන් කවියකි මේ.
නානා සත් සියක් කොද සදු නදා වන
දෝනා සුත් දෙකුලඹර මැද නදා වන
පිනා සත සයුර පරතෙර මුදා වන
සේනාරත්න පෙරුමල් මැතිට දා වන
අයගේ සොහොයුරිය වූ දෝන අර්නෝලියා පෙරුමාල් ද කවි තැනීමෙහි සමත්ය.
වර්තමාන නෑයෝ : බබා ගුරුන්නාන්සේ ඇයගේ පුතෙකි. ඔහුද කවි තැනීමෙහි සමතෙකි. පැලෑනේ තුඩාවේ පඬිතුමා විවාහ වී සිටියේ ඔහුගේ දුවනියක සමඟය. එහෙයින් තුඩාවේ පණ්ඩිත ගුණවර්ධන පරපුර දැනට සිටින ප්‍රධාන ඥාතිවරුය. රාජනීතිඥ ආතර් ඇල් පෙරේරා මහතා ඇයගේ මවු පසින් නෑයෙකි, මුණුබුරෙකි.
පියාගේ මරණය : එකල මාතර සිටි ඉලංගක්කෝන් මුදලිදුන්ට මහනුවර රජු විසින් ප්‍රදානය කරන ලද ඇතෙක් විය. ඌ වැඩෙහි යොදවා සිටියේ කසාගල විහාරය සමීපයේය. මේ ඇතා චණ්ඩය. එහෙත් කීකරුය. ක්‍රමානුකූල ජීවිතයකට හැඩ ගස්වන ලද්දෙකි. එක් දිනෙක වැඩ අවසන් වී සිරිත් පරිදි කෑම සඳහා ගඟට ගෙන යද්දී අතර මඟ වූ කඳක් ඉවත් කිරීමට ඌට අණ දෙන ලදි. එයට කීකරු නොවූ ඇතා, ඇත් ගොව්වා නැවත ද දුන් තද අණින් කෝපව, එඬිරා පිටෙන් බිම දමා, පාගන්නට තැත් කරද්දි, එහි සිටි ගජමන් ආරච්චි ඉදිරියට පැන කෑ ගසා එය වළක්කන්නට තැත් කළේය. ඇතා ඔහු කෙරෙහි කෝප වී, පැන අවුත් හොඬින් පහර දී ඔහු බිම හෙන්‍දාවේය. දෙදිනකට පසු ඔහු මළේය. මේ ඛේදජනක සිදුවිම සිදුවූයේ ක්‍රි.ව. 1800 දීය. ගජමන් නෝනා තම පියාගේ අභාවය පිළිබඳ ලයාන්විත කවි පන්තියක් ලියුවාය.
ඇයගේ ප්‍රේම ජීවිතය : ඇයට පෙම්වත්හු බොහෝ දෙනෙක් වූහ. ඉන් ප්‍රධාන ඇලපාත මුදිලිය. රංචාගොඩ ලොකු මහතා සමඟ ඈ මිත්‍රව සිටියාය. ඔවුන් සමඟ කවි ලියා ගත්තාය. දුප්පත්කම සමඟ පොර බදිමින්, ඈ විනෝදයෙන් කල් ගත කර ඇත.
ඇයගේ දුක් ජීවිතය : පියාගේ මරණින් පසු ඇයගේ ජීවිතය ඉතා දුක් සහිත වන්නට ඇත. එහෙයින් 1805 දී, පියාගේ මරණින් පස් වසකට පසු එකල මාතර දිසාපතිව සිටි ජෝන් ඩොයිල්ට කවියෙන් පෙත්සමක් දුන්නාය.
නෝනාගම ලැබීම : එයට පිළිතුරක් වශයෙන් නෝනාගම නින්දගමක් වශයෙන් ලැබිණි. ඒ ගැන විස්තරයක් දැක්වීමට නොහැකිය.
ආධාර කළ අය : මෙසේ ජෝන් ඩොයිල්ගෙන් ආධාර ලත් ඇයට මාතර මුදලි මුහන්දිරම්වරු කිහිපදෙනෙකු ආධාර කළ බව පෙනේ. ඇලපාත මුදලිගේ පෙම්වතියක සේ සිටි හෙයින් ඔහුගෙන් නිසැකව ආධාර ලැබෙන්නට ඇත. මාතර තිලකරත්න මුදලි ඇයගේ හොඳ ආධාරකරුවෙකු වන්නට ඇත. ඇය ඔහුගේ පින්කම් ගැන ලියන ලද වර්ණනා කවි බොහෝය. දුෂ්කර බන්ධන කාව්‍යක් ලියා ඇත්තේද මේ මුදලි ගැනය. ඔහුගේ ළමා තැනීද ඈ සමඟ මිත්‍රය. මේ අතර සේව් වික්‍රම නමැති ආරච්චි කෙනෙකුට තම දුක දක්වා කවි ලිවීමෙන් පෙනී යන්නේ ඔහුද උපකාර කළ අයකු බවයි. රංචාගොඩ ඊශ්වරගේ කවියා ද මිත්‍රයකු නිසා ආධාර කරන්නට ඇත. සබේ විදානේ හෝ සුබේ විදානේද ඇයගේ මිතුරෙකි. මේ කවි ඒ දෙදෙනාගේ සබඳකමේ තරම හෙළිකරයි.
සබේවිදානේ
සියල් කතුන් හට තිලකෙව් සිටින සබේ
නිමල් සඳසෙ ගුණයෙන් කරන මෙම සබේ
විකල් විය ම සිතු ඉද රැවටෙමින් ඉබේ
දවල් එමි පහස ගන්නට නෝන නුඹේ
ගජමන්නෝනා
දහස ගණන් මඟ යන එන මිනිස්සුද
දැහස ඔවුන් හැමගේ කවුරු වැස්සුද
රහස කියන දේ කුමකට සැලැස්සුද
පහස දවල් ඉල්ලන හිමිට පිස්සුද
ඇගේ ගතිගුණ : එකල උසස් සමාජය ආශ්‍රයෙන් වැඩුන කෙනකු නිසා කම් සැපත අගය කළ කෙනෙකි. ජන්ම දායාදයන් ලෙස කවීත්වය ලබා ඇත්තේ කවි පවුලක ජනිත වීම නිසයි. වචක්ත භාවය, ගුරු ආශ්‍රරයෙන් ලබා ඇත. විවාහ ජීවිතය සාර්ථක නැත. මෘදු හැඟීම් ඇත්තියකි. උත්සන්න මනෝභාවයෙන්ගෙන් ප්‍රීතිවන අතර දුක් වන්නියකි. රාග චරිතයක් හෙයින් ප්‍රේම රසය වින්දා වූ, සොබාවික සෞන්දර්යයෙන් පවා ප්‍රීති වූ කෙනෙකි. උඩඟු ගති ඇති, නිභය ගති ඇති ඕතොමෝ නිතර ඒ ඒ උසස් පුද්ගලයන් පෙම්වතුන් සතුටු කිරීමෙහි ලා වෙස් මාරු කළ තැනැත්තියක් වන්නට ඇත. මේ අතර ඈ යෙදි සිටි ජීවන සටනේ ඇයගේ අන්තිම කාලය දුකින් පිරි තිබෙන්නට ඇත. එය පළමු ජීවිතයට වඩා වෙනස්ය. එහෙයින් චිත්තවේදනාව බලවත්ය.
ඇයගේ අවසානය : වෙහෙරගම්පිට තුප්පහි වත්තේ විසූ කාලයෙ හි ඈ පිහියකින් බෙල්ල කපාගෙන දිවිනසා ගත්තායයි කට කථාවක් පවතී. වේගවත් හැඟීමෙන් යුතු ඇයට දුප්පත්කම හේතුකොට ගෙන දිවි එපා වී එසේ කර ගන්නට ඇතැයි විශ්වාස කළ හැකියි. මීට සතලිස් වසකට පමණ පෙර එහි විසූ එක්තරා පෙහොසත් තරුණයකු එසේ බෙල්ල කපාගෙන මරුමුවට පත් වූ බව මෙහි දන්නා කරුණකි. එතැන දැනුදු වාසනාවන්ත තැනක් නොවේ.
ඇයගේ ප්‍රබන්ධ :
පියාගේ වියෝව (1800)
සොබමන් සක නිරිදු වසින් - එක්
දහසින් සත් සියයක් වෙමින් - විසි
දෙකවන් මස මැදිනව
ජලවක ගුරු දින පැමිණිලා
දිනිඳුන් නරලොවට සැපත් - දස
පැයකින් බුද හෝ රාවෙන් - නව
රසයෙන් ලැබූ එවිසා
නැකත ද අගුණට පැමිණිලා
සුපසන් ගුණ නුවණ දිවමි - මහ
ගජමන් යන නම පැවතුම් - කළ
මනුවන් යුග සදිසි
ම පිය තනි මගකට පැමිණිලා
රුදුවන් මතැතෙකු විගසින් - දිගු
සොඬකින් තද පහර දෙමින් - බිම
හෙළමින් මරුමුව තුළවනි
පෙර කළ කම් පැමිණිලා
පෙරසින් නිසි කිරණ තුළම - බර
සුදිව ම කරවමිනි නොහිමි - ලද
අහිතක් රුදු සතුරු
පියුම් පෙළ හැඟුම් කරවීයේ
දෙගුරුන් ඉටු මිතුරු සියන් - සොහො
යුරුවන් සුතනඹු සබදුන් - මෙහෙ
කරුවන් ලැදි සත
කොද කැත්කම පොබමින් විසුවියේ
එතමන් පෙර කරපු පවින් - යලි
වෙසෙසින් රුදු සතුරු බයක් - කර
මඟකින් මහ යතුරු වෙමින්
සිය පතයෙන් තොර වියේ
නිසකින් ඒ අසළ පිවිසුන් - රුදු
ගිජිදුන් තද පහර දෙමින් - බිම
හෙළමින් හෙම අවරගිරෙන්
බටු විලසින් සැඟව වියේ
මා පිය පියා මැරුවෙද රුදු මත වරණ
මා පිය පියා කරවා ඒ රුදු කමින
මා පිය පියා නිදි නොව දළ සෝ දුකින
මා පිය පියා සිහිකර හඬමි හැම දින
පිය සිය නගමිනේ යනෙනා තුරු යෙහෙන
පිය සිය නගමිනේ සිය උකුලට රැගෙන
පිය සිය නගමිනේ වැඩු අප සුත පෙමින
පිය සිය රුදුවනේ මරුමුව වැද ගිලූන
දෙනිපිටියේ නුග රුක
පිනවන දුට දන සෑ-ම, ගඟ ළඟ පිහිටි කදී - ම
තුරු පෙළ අවට සැදී - ම , යුතු සෙවනැල්
ගන මේ කුලෙව් දිලි - ම විහඟුන් මත රැව් දී - ම
සුළඟින් පත් ලෙළ දීම, ඇති හැම කල්
යන එන දන සැප සේ-ම, එහි ඉද ගිම් සැන සී - ම
දස දිග අතු විහිදී - ම, තිබෙන විසල්
දෙනිපිටියම ඉතා -ම, වටිනා මහනුග දූ - ම
බලසකි එහි සිත් සේ - ම, නිලඹර දුල්
සෑම වරදත මන බැන්ද, පලබර පුළුපු උයන් - ද
නෙක වතු කුඹරු වලින් ද, සෑදි දෙ පසේ
පෙම කරවන නිතියෙන් ද, සල් පිල් සහ ගෙවලින් - ද
එහි සරණා මැති සෙන් ද, සැණ කෙලිසේ
කිවියර වඩු සිතියක් ද, දැනගත් සිටි ඇඳුරන් ද
සැදී දෙනිපිටිය නමින් ද, යුත් පියසේ
නුග තුර තුනු රුසිරෙන් ද, පලකර සක් දේවින් ද
පර සතු රුක විලසින් ද, නිබද දිසේ.
සර් ජෝන් ඩොයිල්ට කළ ආයාචනය (1805)
සතර අනු දෙස තෙදනකින් යස පසිඳු සරිවන සුර නිදුන්
විතර නොමවන මෙදිය තුළ සත කුමුදු නද කළ සොම් සඳුන්
පතර දැඩි බල අභිත් රුපුකැන් මතැත් ඔද හල කෙස රිඳුන්
නිතර නමදිමි දිසාතුම ජෝන් ඩෙයිලි යුග පා කර මුදුන්
මෙකල තුළ වැසි නොසෙක සතහට කුළුනු ගුණයෙන් මවෙත දෝ
නොසෙක දිළිදුන් නදන කරවන සුරත දිලි සුර දුවක දෝ
සැනෙක තෙදිනින් සිතැගි සිදු කර දෙවන සිරි සිතු මිණක දෝ
නිසැක මතු බුදු බවට පැමිණෙන මහරු තුමා බෝසතෙකු දෝ
පසන් සොමි ගුණ රසින් පුරවර එළිය කරවන සසඳ රාමය
කිවින් මනදොළ තිළින් පුරවන දිලෙන යුවලක සුරතු රාමය
බැඳන් පදරුත් මෙතෙනි සපුරන සෙයින් නුවණින් ගුණිසු රාමය
සිරින් අග ජෝන් ඩොයිල් මෙදිසා උතුමා රූසිරි පත් සැ රාමය
නිබඳ සුන්‍දාලූර වසන සිරිකත දිගඹු කර යස හර පැලෑන් දූ
නොමඳ මහමෙන් කුන්‍දාණු මිණි රස මෙපුර වර දෙවි විමන ලන් දූ
අමද රස බස් මුව පියුම් ගැබ සපිරු මෙදිසා පති සමින් දූ
දෙපද වැඳගෙන පිහිට ඉල්ලා සිටිමි සහ මාගේ බිලින් දූ
නොහිමි සිරි පිරි එංගලන්තය දේසයෙන් සැප සේ උදුල්
දිලූම් තෙදකින් යුත් ජෝන් ඩොයිල් දිසා සමිඳුනි ගුණ නිමල්
කුසුම් මිණි මුතු බෝග ගම්බිම් කිසිත් නැති මම මේ සියල්
උතුම් දේවියන් කමට පිහිටක් වෙන්ට නමදිමි පා කමල්
සෝම නෙක ගුණෙන් පිරි පුන් සදෙක් මය
පේම වන රුවින් පෙර පන් සැරෙන් මය
දීම ගැන නොහිමි කිළි සුර දුමෙන් මය
සෑම යස සිරින් යුතු මහ තුමෙක් මය
සඳ තුළ රදන කියු නැණයෙන් ගණි සුරුය
සඳ ලෙස පැවැති දස රද දම් පියකරුය
සඳ තොස කරන බස සවනට අමයුරුය
සඳ මෙන් මොබන යස සිරි නිර තුරු දැරුය
මෙලෙසින් ගුණ නැණින් යස සැපතකින් දිලෙන
සිය පින් සිරි බෙලෙන් දිය තුළ පසිඳු වන
සුපසන් ජෝන් ඩොයිල් මෙදිපාපති සොබන
සමිදුන් හට නැමැද පවසමි දුක් මෙවන
සිත් ලෙසින් දයා බැද වැඩු සිය සූතන
බත් දියන් කියා ඉද අඬති තැන තැන
පත් මෙදැන් නොයාමේ තතු ඇති ලෙසින
අත් මුදුන් තියා සිට කියමි වැඳ ගෙන
සඳ මෙන කවා ඇති කළ ලම පැටවුන්ට
අද දින පමණ නැත බත උන් රැක ගන්නට
සොඳ ගුණ ජොන් ඩොයිල් මෙදිසා මැතිදුන්ට
වැඳගෙන දුක කියමි පිහිටක් ලැබගන්නට
ගුණ යුත් සාමි දරුවෙකි මගේ සිතු විලස
ලැබුනොත් කිසි පිහිට මෙ ඔබට පින් පිණිස
යහපත් එගුණ සඳ රැස සුරපුර පිවිස
දෙවියොත් තුටුව රඟ බස කරති තුති ගොස
වෙන් සක නිවට සුර ගුරු කිවි සඳ නොසඳ
සන් සම බරණ යන මුරුතනු හිස් සොඳ
පින්සර ජොන් ඩොයිල් මෙදිසා සමිඳු සඳ
රන්ගිර නුඹ දෙරණ හිමි පතු සැප විඳ
මේ පෙත්සම සමඟ යවන වාසගම මෙන්ම මෙහි දක්වා ඇත. මෙය ඉදිරිපත් කරන ලද්දේ වර්ෂ 1805 දිය.
බාරස කාව්‍යය වැනි පුදුම පබැඳුමක් : කරතොට ධර්මාරාම නායක හිමියේ බාරස කාව්‍යය නැමැති පුදුම ප්‍රරබන්ධයක් කළහ. බරණාගබ සක නැමැති රූපයක එක කවියක් ලියූ කල එයින් කවි දොළසක් තැනිය හැකි වේ. එය රාජ පුජි කවිය. පල්ලේබැද්ද ගම්වරය මහනුවර රජුගෙන් ලැබුණේ ඒ සඳහාය. උන් වහන්සේගේ තිලක රත්න මුදලිඳින් පිළිබඳව ලියා ඇති එම කවිය මෙසේ වේ.
තිලක රත්නය නැමැති මුදලිදු
දිර සේකර සමර නමකුරු
ලකළ පත්මය තැබය යසසිදු
සිර සාගර පැතිර ලබිසුරු
කලක තර්කය කවස නරනිඳු
නැර ආමර පැහැර කරදුරු
සිපත ගත්මය ලෙසට පරසිඳු
කෝරලේ කරපවර බුමිසුරු
මෙය කිසිවක් වෙනස් නොකර කවි පහක් තැනිය හැක්කේ මෙසේය
මුදිලිදු දීර සේකර
යසසසිදු සීර සාගර
නරනිදු නෑර ආමර
පරසිදු කෝරලේ කරමුදලිදු දිර සේකර සමර නමකුරු
යසසිදු සිර සාගර පැතිර ලබිසුරු
නරනිදු නෑර ආමර පැහැර කරදුරු
පරසිදු කොර ලේකර පවර බුවිසුරුදීර සේකර සමර නමකුරු
සිර සාගර පැතිර ලබිසුරු
කැර ආමර පැහැර කරදුරු
කෝර ලේකර පවර බුවිසුරුසමර නමකුරු තිලක රත්නය නමති
මුදලිදු විරසේකර
පැතිර ලබසුරු ළකල පත්මය
තැබය යසසි සිරසාගර
පැහැර කරදුරු කලක තර්කය දවල
නරනිඳු නැර ආමර
පවර බුවිසුරු සිපත ගත්මය ලෙසට
පරසිදු කෝරලේ කරදිර සේකර සමර නමකුරු
තිලක රත්නය නැමැති මුදලිද
සිර සාගර පැතිර ලබිසුරු
ළකල පත්මය තැබිය බසසිඳු
නැර ආම පැහැර කරදුරු
කලක නරකය දවල නරනිදු
කෝර ලේකර පවර බුවිසරු
සිපත ගත්මය ලෙසට පරසිදු
ප්‍රති මල්ලවයන්ට පහරක්
ඇයගේ දුර්ගණයක් ගැන ලියා එවූ කවියකුට යවන ලද පිළිතුරු මෙසේ වේ
කායේ අගුණ දුටුවන් කියන කිව්වරු
මියේ රසය මෙන් රසකර කියති බොරු
ලියේ ඇදය අරිතන් හුයලා අඟුරු
වැයේ ඇදය බැලූවම ඊටත් නැඹුරු
ගජමන් නෝනාගේ සෘංගාර ජීවිතය
ඇලපාත මුදලිදුන් හා ඇයගේ ප්‍රේම ජීවිතය විවිධාකාර රසයෙන් යුක්තය. දෙදෙනා අතර ඒ ඒ අවස්ථාවන්හි හුවමාරු වූ කවි කිහිපයකි.
ඇලපාත
මද මත දිගු සොඬින් දස අත පිඹින්නිය
ළැම පත් පිය යුරන් හස පොළඹ වන්නිය
සිරිමත් එගජමන් නෝනා ඈ ඇතින්නිය
තෙරසන් රඹ උයන සිඳ බිඳ දමන්නිය
ගජමන්නෝනා
නාම රුක පසිඳු ඇලපාතික පොරණ
ප්‍රේම දළු ලමින් නැණ අතු විය දියුණ
සෝම ගුණ දහම් පල ඉදෙමින් නැමුණ
කාම නල වැදි සහ මුලයෙන් බිඳුන
වැය තදින් ගලන සිටි ඕගය දෑත
විසිරෙමින් පිරි ගිය නොරදා මෑත
නව දහන් බැම්බ බැදි වෙර ඇලපාත
බිඳ ගොසින් වැටුණි නාරිය තොට ඇත
උපැවිදි වීම පිළිබඳ උපහාසයෙකි. ඇලපාත කරතොට ධර්මාරාම හිමියන්ගේ සිසුව මහණව සිටියෙකි
ඇලපාත
මුනි පුතුන් ඇසුරු සිප්සත දත් රුවැති
ගජ නමින් පතළ අඟනක් ළගම ඇති
සැම කතුන් සේම සිරිතක් වූ පැවැති
හොර හිමින් ගැනුම අත නෑරම කරති
ගජමන් නෝනා
සායේ වැදිලා පත් මෙපුර කිවියරු
මියේ මදය මෙන් රස කර කියති බොරු
ලියේ වෑයමෙන් රස කර කියති බොරු
වෑයේ කුදය බැන්‍දාවම ඊටත් නැඹුරු
ඇල්පාත
චන්ද සූරියා වැනි එළඳගෙ උවන
ඉන්ද කීල දෙක වැනි ළමැද මන තන
අන්දකාරයට ඇවුලූ පහන මෙන
කින්ද තනියහන නිදියෙන්නේ නෝන
ගජමන්නෝනා
බැන්ද මගේ හිමි පරලොව ගිය බැවින
නින්ද අපට පුරුදුව තනියම යහන
වින්ද රති සැපත මට මතක නැති වුන
කින්ද තමුසේට විමසන් න කාරක
ඇයගේ ප්‍රේම ජීවිතය සම්බන්ධයෙන් රංචාගොඩ ඊශ්වරගේ ලොකු මහතා මෙසේ විමසිල්ලක් කෙළේය.
ඊශ්වරගේ කිවිඳු
ලංකාවක විගඩම් කරමා එක්කා
වංචා මෙන් මුදල් අරගිනමින් නෙක්කා
දැං බඩ සාදුකින් හීරලූවෙන් එක්ක
කංකානමට කියමින් ගැලවෙනු මක්කා
(මෙහි හීරලූවා යයි නම් කර ඇත්තේ ඇලපාත මුදලිදුන් විය හැකියි.)
ගජමන්නෝනා
ලංකාවක විගඩම් කෙරුවත් ඔහොමේ
මංචාවෙන් මුදල් අරගත්තත් බොහොමේ
දැං බඩ සාදුකින් පෙළුනට දුක බොහොමේ
කංකානම සිටිත්දිත් මගේ වැඩ මෙහෙමේ
ඇලපාත
පාලා සරඹ ජය කොඩි බඳිති සෑම දෙනේ
සිලාචාර සේ කම් පැන අව ගුණේ
බාලා අඟනුන්ගේ තව් කපන තොර පනේ
ගාලා කොතන මුවහත් කරමිද නෝනේ
ගජමන් නෝනා
පසන් නැණ ගුණැති හිමි සදිනිස සොබනේ
සපත් පිරිමින්ගේ ඔද බිදින ජල බනේ
වයන් කර තිබෙන මගේ පළිඟු ගල් වනේ
නිකන් ගා දිනන්නට නොදෙමි තොර පනේ
ඇලපාත
රෑබර දිගැසියන් වෙල් මැදට බසි මිනේ
සැදර යෙන් කරල් මිට් රැගෙන යන තැනේ
වාසර යෙන් ඉන ඇඳි වත ඉවත් උනේ
වානර මුසසේ නැබ මුල සුරති ගති පෙනේ
ගජමන්නෝනා
කේසර එන්ට පෙර තුරු ගජතුගේ දක්සේ
වේ සැර හට වුවොත් කුරුළුට වෙයි දුක්සේ
ඒ සැර ලියෝ ඇසුවොත් මේ වග දක්සේ
වානර මුව උලති හම යනකන් හොස්සේ
ඇයගේ මරණය දැක්වෙන කවිය
සක වත්නෙක දැහස් සතිසිය සකිස් වස
වක ලද තෙලෙස් උදුවප් අව ගුරු දවස
නෙත ගුණ දෝන ඉසබැල් පෙරුමල් දිගැස
සක පුර පැමිණි දිව සිරි සැප විදින ලෙස
මෙහි සඳහන් දිනය ක්‍රි.ව. 1814 දෙසැම්බර් 13 දාය. මෙය ඇයගේ පුතකු විසින් පද බැදුනේ යයි සැලකේ.
ඈ 68 වසන් ආයු වළඳා ඇති බව පෙනේ. පියාගේ මරණින් පසු 14 වසක් ජීවත්ව සිටියාය. එය අභාග්‍ය සම්පන්න කාලයක් වන්නට ඇත.
දුකට කී කවියක්
සිතට කයට සැප දෙන මවු පියොත් නැත
නිවට කලට සලකන නෑ සියොත් නැත
ගැහැට ලෙසට වෙද පිලියම් කිසිත් නැත
එබදු අයට පිහිටන්නට කාත් නැත
කුඩා කාලයේ හිටිවන මේ කී කවියක්
පුංචි රුවන් පුංචි රුවන් පුංචි කලේ
වතුර අරන් ළිද උඩ තිබුවාය කලේ
අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්ඩ දෙනවද මගේ පුංචි කලේ
ඇයට වැදගත් කවි පොතක් ලියන්නට බැරි වූයේ ඇයි?
මෙසේ කිවිවරියක සේ සාර්ථක පැබැදුම් කළ ඈට වැදගත් පොතක් ලියන්නට බැරි වීම ලොකු පාඩුවෙකි. සමර සිරිවර්ධන මුදලිදුන්ගේ පින්කමක් වර්ණනා කොට සමරසේකර දිසානායක කවියා ගංඟා රෝහන වර්ණානව කෙලේ මේ කාලයෙහිය. ගජමන් නෝනාගේ ජීවිතය කලබලකාරී එකක් වන්න ඇත. එහෙයින් නිව් සැනසිල්ලේ පොතක් ලිවීමට ඉඩ කඩ නොසැලසුණේය. ජීවීත සටනෙහි යෙදී ආර්ථික පීඩනයෙන් පෙලීම එයට බාධක වන්නට ඇතැයි සිතේ.
ගජමන් නෝනාගේ ගද්‍ය
සර් ජොන් ඩොයලි වෙත යවන ලද කවි පෙත්සම සමඟ ගද්‍යයෙන්ද යවන ලද ආයාචනයෙන් කොටසක් මෙසේ වේ. මෙම වෙහෙරගම්පිට විහාරයේ තිබූ පැරණි ලිපියකින් ගන්දර ජි. ඩි. ඇස්. වීරසුරිය සූරින් විසින් පිටපත් කර ගන්නා ලද ලිපියෙකිනි. මෙහි ඓතිහාසික වටිනාකමක් ඇත.
“සමෛශ්වය්‍යානිවෘධි වර්ධනයෙන් සමෘධ වූ එංගලන්ත දේශයෙන් භාග්‍ය වූ මහා තිර්ථාභිධාන පුරවරයෙහි විජෘමාන වූ ප්‍රවර සුවිශුද්ධ වංගොදභූත උත්තම වූ ජෝන් ඩොයිල් නාම දිසාපති ස්වාමින්ද්‍රයන් වහන්සේගේ යම්පත් කරුණා දිවස් එළියෙන් ගෙණ බලා වදාරන ලදුව ලැබ ගත්තා වූ ඉහලෝකාභිවෘධිය පිණිස වේරගම්පිට් පදිංචි දෝන ඉසබෙල් පෙරුමාල් කොර්නේලියා යන මා විසින් මෙසේ අභිනව පද බන්ධනය කරන ලද තුදුස් කාව්‍ය ප්‍රබන්ධාධී සප්ත දුෂ්කර බන්ධනය නිමවා ඔප්පු කර සිටින්නට යෙදුනේ ශ්‍රී සුද්ධ ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් එක්දහස් සත්සිය සත් විස්සක්ව (1805) ඇසල මස පුර දියවක ලත් ගුරු දිනදීය.”
සර් ජෝන් ඩොයලි මාතර දිසාපති ධූරයට පත්වූයේ 1804 පෙබරවාරි 22 වැනිදාය. කරතොට ධර්මාරාම හිමියන්ගෙන් සිංහල උගත් ඔහු, එකල රජයේ ප්‍රථම භාෂා පරිවර්තන ධූරයට පත්විය. 1806 දී ඔහු කොළඹ ඒජන්ත ධූරයට පත්ව ගියේය. ගජමන්නෝනාගේ පෙත්සම දෙන ලද්දේ 1805 දීය.
මාතර ඩී ජස්ටින් විජයවර්ධන
(ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ඉල්ලීමක් පරිදි මාතර විජයවර්ධන මහතා විසින් සපයන ලද විස්තරයකි)